මං හැදුවෙ හිතුවක්කාර බිස්නස් එකක්

අවුරුදු 40 ක් පුරා ආ ගමනේ වෙහෙසකර දිගු දවස් කොතෙකුත් විය. දිවා රෑ නැතිව වැඩ කළ... පයින් ඇවිද ගිය... බස්වල තෙරපී ගමන් කළ... කටුක අතීතයෙන් ඔහු බොහෝ දේ උගත්තේ ය. අද ධනවත් ව්‍යාපාරික ලැයිස්තුවේ සිටියද මහ පොළොවේ පය ගසා ජීවත්වන මිනිසෙකු වන්නට ඔහුට හැකිව තිබෙන්නේ එහෙයිනි. රටට කර්මාන්තයක් හදා මිනිසුන්ට රැකියා උත්පාදනය කොට, දරු පවුල් සුරකින ආර්ථිකයකට දායක වන්නට බොහෝ දේ කළ පද්මසිරි මුතුමාල, මේ සියලු කාරණා සසඳා බලන කල රටට සුවිශේෂී චරිතයක් වන්නේය.

රුහුණු ෆුඩ්ස් ෆැමිලි බිස්නස් එකක්ද...

ඔව්. මගේ පුතා රුෂාන් මුතුමාල ‘Managing Director’ විදියට වැඩ කරන, බිරිය චිත්‍රාංගනී මුතුමාල ‘Working Director’ විදිහට වැඩ කරන, පොඩි දුව නිමේෂා මුතුමාල, ආනයන, අපනයන අංශය බාරව වැඩ කරන,

මුතුමාල පවුලේ ව්‍යාපාරයක්. ඔබ මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ අධ්‍යක්ෂවරයෙක්...

ඔව්. ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරික එකතුවත් අපේ පෙරමුණයි. මහනුවර සිංහල - දෙමළ - මුස්ලිම් වශයෙන් වෙන වෙන ම ව්‍යාපාරික පෙරමුණු තිබුණත් පොදු කාරණාවලදී අපි තුන්ගොල්ලම එකමුතුයි. ඒ වගේ ම නුවර SWP ඉන්වෙස්මන්ට්හි අධ්‍යක්ෂවරයා විදියටත් අපි, ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර වෙනුවෙන් හුඟක් දේ කරනවා.

ඇත්තටම ඔබ මොනවද තුනපහ ගැන දන්නෙ...

පටන් ගන්නකොට නම්, අම්මා ගෙදර හදන තුනපහවල රසයි සුවඳයි ඇරෙන්න කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ.‍ රහට කෑවට, ඒවා දාලා උයන හැටිවත් මං හරියට දන්නෑ. හැබැයි දන්න ටිකෙන් මං වැඩේ පටන් ගත්තා. මමම දැකලා හිතලා හදාගත්තු රෙසිපි එකකටයි මං තුනපහ හැදුවේ. ඒක අල්ලලා ගියා. නිෂ්පාදනයකට වැඩිම කාලය ගත වෙන්නේ නමක් හදාගන්න.

මේ කතාව ඔබේ ජීවිතයෙන් පහදන්න.

ඔව්. ඒ කතාව මටත් අදාළයි. බිස්නස් එකේ දුෂ්කරම කාලය වෙච්චි මුල් අවුරුදු දෙකේ, පාරිභෝගිකයා ළඟට එනකල් නොඉඳ අපි හොයාගෙන යන්න ගත්තා. හෝටල්වලට ගිහින් පුද්ගලිකවම කතා කළා. පොඩි පොඩි කඩවලට ගියා. අපේ බඩු ගන්න කැමැති කරවා ගත්තා. සේවකයො දෙන්නෙක් දාලා සිගරට් බයිසිකල් දෙකකින් තරමක් ඈත කඩවලට බඩු දැම්මා. කටින් කට ගිය හොඳ නම නිසා අපිට ඉල්ලුමක් හැදුණා. රුහුණු නම මිනිස්සු අතරට ගියා. අද පිටරටවල දී වුණත් රුහුණු නම දැක්ක ගමන් ශ්‍රී ලාංකිකයො මිලදී ගන්නවා.‍ නැවත නැවත හොයාගෙන එනවා.

මිරිස්කුඩු තුනපහ කුඩුවල සැර දරාගෙන ඔබත් වැඩ කරපු කාලයක් තිබුණා නේද...

මිරිස් තුනපහ කුඩු පැකට් කරද්දී ඒ සැරට කිමුහුම් යන එක සාමාන්‍ය දෙයක්. කාලයක් යද්දී අපි ඒ දැවිල්ල සහ සැරටත් පුරුදු වුණා. ඒත් බස් එකක ගියත් බැංකුවකට ගියත් පිරිසක් ඉන්න තැනකට ගියත් අපෙන් මිරිස් සැර තුනපහ සුවඳ වහනය වන බව හුඟ දෙනෙක් ඒ කාලෙ කියලා තියෙනවා. එහෙම අතීතයක් පහු කරපු නිසා තමයි අද ව්‍යවසායකයෙක් වෙලා රටට කර්මාන්තයක් හැදුවේ.

සමහර පැකට් මිරිස් කුඩු මේ තරම් දීප්තිමත්ව රතෙන් බබළන්නෙ කොහොමද...

මිරිස්, කාලෙන් කාලෙට එන්නෙ විවිධ රතු පැහැයෙන්‍. අව්ව කාලෙ මිරිස් ඵලදාව රතෙන් වැඩියි. වැහි කාලෙට පාට අඩුයි. අනික පළාතෙන් පළා‍තටත් මිරිස්වල පාට හා රසය අඩු වැඩි වෙනවා. ඉස්සර නම් හොඳම මිරිස් ආවේ කිළිනොච්චි සහ වවුනියාවෙන්. අද එහෙම තියා කොහොමවත් එන්නෑ. දඹුලු ඇළහැර මිරිස් ඊට වෙනස්.‍ ඇත්තටම හොඳම මිරිස් කොහොමටත් දීප්තිමත්. ලංකාවේ මිරිස් හොඳ වුණාට මිලෙන් වැඩියි. කිලෝවක් ගන්න, කිලෝ හතර හමාරක් වේළන්න ඕනේ. හොඳින් වේළපු සාමාන්‍යයෙන් මිල අඩු මිරිස් තියෙන්නෙ ඉන්දියාවේ. බොහෝ අය ඉන්දියානු මිරිස් වලට යන්නෙ ඒ නිසා. ඒ වගේ ම, නවීන තාක්ෂණය සහ නවීන යන්ත්‍රෝපකරණ භාවිතයත්, රසය සුවඳ සහ අලුත් බව රැකෙන නිෂ්පාදනයක් සඳහා බලපානවා.

‘තුනපහ - මිරිස්කුඩු කියන්නෙ මිනිස්සුන්ව රවටන්න පුළුවන් හොඳම බිස්නස් එකක්...’ කවුරු හරි ‍එහෙම කිව්වොත් ඔබ මොකද කියන්නේ...

දීර්ඝ කාලයක් ක්ෂෙත්‍රයේ රැඳුණු, අමාරුවෙන් නමක් හදාගත් සමාගමක් කවදාවත් නොකරන සහ නොකළ යුතු දෙයක් ඒක. අනෙක් අය ගැන මං කතා කරන්නෑ. හැබැයි හොඳම ව්‍යවසායකයාට හිමි මධ්‍යම පළාත් සහ ජාතික රන් සම්මාන රැසක් දිනූ රුහුණු ෆුඩ්ස් අපිට, සියයට සියයක් දේශීය සමාගමක් විදියට ජාතික වගකීමක් තිබෙනවා. කෝටියක් ලාබ ලැබුණත් බාල දේ කරලා අපේ හොඳ නම නැති කරගන්නෑ. ඒ සහතිකය ඔබට දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, රුහුණු ෆුඩ්ස් හදපු මම. ඒ වුණාට පුන්නක්කු - සතකුප්ප වගේ දේත් තුනපහවලට මිශ්‍ර කරන කූට ව්‍යාපාරිකයො ඉන්න රටක් මේක... ඒක නිසා තමයි පාරිභෝගිකයො ‍ඔළුව පාවිච්චි කරන්න ඕනේ. නමක් ඇති අත්දැකීම් ඇති පිළිගත් සමාගමකින් නිෂ්පාදනයක් මිලදී ගන්න එකේ වාසියත් ඒකමයි. අපේ නවීන රසායනාගාරයේ තත්ත්ව පරීක්ෂාවන්ගෙන් තොරව වෙළෙඳ පොළට අපි නිෂ්පාදන එවන්නෑ. කන බොන දේ ගැන ආරක්ෂාව තියෙන්නෙ, තමන්ගෙ තේරීම අතේ. තමන්ට පාඩුවක් අවාසියක් - හානියක් වුණොත් නීතිමය පියවරක් ගන්න පුළුවන් විදියෙ සමාගමක නිෂ්පාදනයක් තෝරා ගැනීමේ වාසිය පාරිභෝගිකයාටමයි. ඇති වෙලා නැතිවෙලා යන ව්‍යාපාර අතරෙ අපි අවුරුදු 40 ක් රැඳී ඉන්නෙ සියල්ලට වඩා කොලිටිය ගැන හිතපු නිසා.

රටේ කෘෂි කර්මාන්තයට ඔබ දෙන අත්වැල ගැනත් කියන්න...

අපි ගම්මිරිස් සහ කෝපි ගන්නෙ නුවර වගා කරුවන්ගෙන්. අපේ, ‍මහාකපුයාය එස්ටේට් එකේ පලතුරු වගාවක් කරනවා. ඊට අමතරව අපේ තුනපහවලට ලංකාවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය සියල්ල රට තුළින් ම ගන්නවා. එහෙම බැරි දේ පමණයි ගෙන්වන්නේ.

රුහුණු ෆුඩ්ස් මොනතරම් දේ නිෂ්පාදනය කරනවද...‍

කෝපි, මිරිස්, තුනපහ, කහ කුඩු විශේෂ කරි පවුඩර් හැරුණාම ආප්ප, තෝසේ, ඉදිආප්ප පිටි මිශ්‍රණ, පපඩම්, නූඩ්ල්ස් ඇතුළු ආහාර වර්ග 44 ක් අපි නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදන බහුතරයක් එංගලන්තය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩුබායි, නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය කියන රටවල් කිහිපයකටම අපනයනය කරනවා. ඒ අතින් අපි විදේශ විනිමය රටට ගේන දේශීය සමාගමක්.

මේ ගතවෙන්නෙ දේශීය කර්මාන්තකරුවන්ට හොඳ කාලයක්ද...

ඇත්තටම කිව්වොත් අමාරුවෙන් ඇදගෙන යාමක්. බැංකු පොලී අනුපාත, වැට් බදු, විදුලි බිල්, ලංකාවේ ඉතා ඉහළයි. මේවත් අවංකව ගෙවාගෙන, සේවක පඩි නඩිත් ගෙවාගෙන දේශීය කර්මාන්ත රැකගන්න හරි අමාරුයි. ඇත්තටම වෙන රටවල් තමන්ගෙ රටේ කර්මාන්තවල පැවැත්ම වෙනුවෙන් හුඟක් දේ කරනවා. ලංකාවේ ඒ තත්ත්වය හරිම අල්පයි. හුඟක් දේ බෙදී යන්නේ විෂම ලෙසින්. කර්මාන්ත අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් අනුකමිටුවෙත් මං ඉන්නවා. අවශ්‍ය තැන්වලත් අපි කතා කරනවා. ඉහළ නිලධාරීන් දැනුවත් කරනවා. අපි උත්සාහ කරන්නෙ මේ තත්ත්වය වෙනස් කරන්න. අනික, පාරිභෝගිකයාගෙ පැත්ත වුණත් එහෙමයි. ඉස්සර එකවර පැකට් දෙක තුන ගත්තු කෙනා අද ගන්නෙ පැකට් එකයි. මිනිස්සුන්ගෙ අතේ සල්ලි හිඟයි. මහනුවර කුණ්ඩසාලෙ කියන්නෙ කර්මාන්ත පුරයක්. ඔබ වැනි කර්මාන්තකරුවන්ට තෝතැන්නක්. එහෙම තිබුණා කලකට ඉස්සර. 1970 – 77 කියන්නෙ මේ රටේ ආහාර හිඟ කාලයක්. හාල් පොලු, මිරිස් පොලු හින්දා. නමුත් ලංකාවෙ වගා කළ නිසා කහ මිරිස් තිබුණා ඇති වෙන්න. මං බිස්නස් පටන් ගත්තෙ කිළිනොච්චි - වවුනියා මිරිස්වලින්. මෙහෙ වවපු කහ වලින්‍. අද ඒකෙ අනික් පැත්ත. මේ කුණ්ඩසාලෙ (IDB) කර්මාන්ත පුරයේ බහුතර ආයතනවල තියෙන්නෙ ඇදගෙන යාමක්. BOI එක ඇතුළෙ ඉන්නෙ අපි වගේ ම අපනයනය කරන සමාගම් නිසා ඒ අයට පොඩි ගැලවීමක් තිබෙනවා.

මොකක්ද ඔබේ Management Style එක...

අවුරුදු විස්සක් විතර යනකල් තිබුණෙ හැමදේටම මාත් හවුල්වන හොයා බලන ක්‍රමවේදයක්. දැන් උඩ සිට පහළට වැඩ බෙදාදීලා, සිස්ටම් එකකට අනුව සියල්ල සිදුවනවා. මගේ පුතා මේ ව්‍යාපාරයේ MD. සමස්ත ඔපරේෂන් එක තුළ එයා ක්‍රියාකාරියි. ඒ නිසා සභාපති කියලා දැන් මට ලොකු බරක් නැහැ.

සේවකයන් හා තිබෙන බැඳීම කොහොම එකක්ද...

ඉඳහිට ආ නරකයෙක් දෙන්නෙක් හැරුණු විට පටන් ගැන්මෙ ඉඳලම මට හිටියෙ හොඳ සේවක පිරිසක්. එදා, අද තරම් මැනේජර්ලා නැහැ. HR ත් මම, මාකටිනුත් මම. ප්‍රඩක්ෂන් මැනේජරුත් මම... ඒ නිසා ම හැම සේවකයෙක් එක්කම ඍජු හමුවීමක්, ඍජු කතා බහක් තිබු‍ණා. ඔවුන්ගෙ ප්‍රශ්නවලදී ඍජුවම උදව් පදව් කළා.. විශ්වාසය රකින හොඳ සේවකයන්ට උපරිම ලෙස සැලකුවා. අදත් අපි සේවක සුබසාධනයට ප්‍රමුඛත්වය දෙන සමාගමක්. අපි අපේ සේවක පිරිස හඳුන්වන්නේ ‘රුහුණු පවුලේ දූ දරුවෝ’ නමින්.

බිස්නස් එකක් පවුලක් ‍ෙවන්නේ කොහොමද...

තමන් වැඩ කරන තැනට ලැදියාවක් බැඳීමක් තියෙන සේවකයෙක් කවදාවත් හොර බොරු කරන්නෑ. ඔවුන් එතැනින් ‍යම් ශිල්පයක් ඉගෙන ගන්නවා. තමන්ගෙ දරු පවුල රකින්න කීයක් හරි අතට ගන්නවා. එහෙම හිතන සේවක පිරිස ආයතනයට වාසනාවක්. ඔවුනුත් දියුණුවෙන ගමන් ආයතනයේ දියුණුවත් සලසනවා. අපේ බහුතරය එහෙම පිරිස. ඉතින් රුහුණු කර්මාන්තායතනය කියන පවුල ඇතුළෙ අපිත් ඔවුන්ට සලකන්නේ අපේම දරුවො විදියට.

දැන් ඔබ අයිති නුවරට. ඇයි බිස්නස් එකට විතරක් ගමේ නම...

මගේ අක්මුල් රුහුණෙ නිසා. මං නුවර ජීවත් වන බව ඇත්ත. නුවරත් මට ගම වගේ. ඒ නුවර මං බිස්නස් කරන බවත් ඇත්ත. නුවර මං නොදන්න කෙනකුත් නැති තරම්. ඒත් ඉපදුණු හැදුණු වැඩුණු ගම එක්ක මං තවම සම්බන්ධයි. අනික ජ්‍යොතිෂ්‍ය අනුවත් ‘රුහුණු’ නම හොඳයි. 1977 මං මුලින්ම බිස්නස් එක පටන් ගත්තෙ ‘රුහුණු ග්‍රයින්ඩින් මිල්ස්’ නමින්.

අවුරුදු 40 කට පස්සෙ, ඔබ හැදූ ව්‍යාපාරය කො‍තැනද තිබෙන්නේ...

අතු ඉති දමපු වෘක්ෂයක් වගේ හුඟක් ඈතට විසිරිලා. පැතිරිලා. දෙවුන්දර පටන් යාපනේට යනකල් අද රුහුණු නිෂ්පාදන බෙදා හැරෙනවා. දෙන්නෙකුගෙන් පටන් ගත්තු ව්‍යාපාරයේ 400 ගණනක් වැඩ කරනවා. කෘෂි කර්මාන්තයට දායකත්වය දෙන, ආහාර වර්ග 44 ක් නිෂ්පාදනය කරන සුවිසල් සමාගමක් බවට පත්වෙලා. ඒ ගැන මට හරි ආඩම්බරයි. මමත් හැදෙන ගමන් මගේ රටටත් යමක් කරපු ශ්‍රී ලාංකිකයෙක් මම.

ව්‍යාපාරික ‍ඥානය ඔබට ලේ උරුමයක්ද...

ඔව්. හම්බන්තොට කුඩාවැල්ල ගමේ අපේ සීයා බිස්නස් පටන් ගත‍්තෙ හාල් සිල්ලර වෙළෙඳාමෙන්. යුද්දෙ කාලෙ කූපන් පොතටත් බඩු දෙන තරමට හැම දේම තිබුණු ලොකු කඩයක් ඒක. සරුසාර වෙළෙඳාම. මගේ තාත්තා අවුරුදු තිස් ගණන් වෙද්දී, කරමින් හිටි ගුරු වෘත්තිය අතහැරලා සීයගෙ ඉල්ලීමට ඒ බිස්නස් බාර ගත්තා. එතැන ඉඳලා බිස්නස් එක ගොඩනැඟුවේ මගේ අම්මයි - තාත්තයි. ඒත් දෙන්නා, එක්කෙනා වුණු දවසක් ආවා.

මොකක්ද ඒ කතාව...

මට අවුරුදු අට වෙද්දී තාත්තා නැති වුණා. අම්මයි අක්කයි මමයි තනි වුණා. හිතට දිරි අරන් අම්මා තනියම ගෝලයො දාලා බිස්නස් එක කරගෙන ගියා. එතැන් පටන් අපේ ජීවිත පුරාම යෝධ ශක්තිය වුණේ අම්මා. නිකමට මිස උදව්වකට කඩේ පැත්තට නොගිය මං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අම්ම‍ෙග උදව්වට කඩේට යන්න ගත්තා. බඩු කිරන්න, සල්ලි ගන්න, ගණන් හිලව් හදන්න මං ඉගෙන ගත්තෙ අපේ කඩෙන්.

ඒ කියන්නෙ පුංචි කාලෙම, බිස්නස් ඇඟට අරන්...

එහෙමම නෙවෙයි. අපේ ඉස්කෝලෙ වාණිජ අංශයක් මුලින් ම පටන් ගත්තෙ අපෙන්. කර්මාන්ත ගැන, ව්‍යාපාර ගැන... ඉගෙන ගන්න කොට උනන්දුව තවත් වැඩිවුණා වෙන්න ඇති. හිටියෙ ටික කාලයක් වුණත්, මං සතුටින් වැඩ කළා. කොහොමටත් මං ගණිතයේ දක්ෂයෙක්.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

හැතැප්මයක් විතර පයින් ඇවිදගෙන පහේ පන්තියට යනකල් ගමේ ළමයි එක්ක මං ගියේ නාකුලුගමුව, ගමේ ඉස්කෝලෙට. හයේ පන්තියේ ඉඳන් මාතර ගොඩඋඩ මහා විද්‍යාලයට. උසස් පෙළ ලියලා ප්‍රතිඵල එන්නත් කලින් මං යුද හමුදාවට බැදුණා. තුන්වන ගැමුණු හේවා බළ ඇණියෙ ස්වේච්ඡා සේවයේ. අව්වට වැස්සට ඔරොත්තු දෙන්න, එඩිතරව නිර්භීතව ජීවිතේට මුහුණ දෙන්න වගේ ම, ‘කළ නොහැක්කක් නොමැත’ කියන ජීවිත පාඩමත් මං ඉගෙන ගත්තෙ හමුදා ජීවිතයෙන්. ඒත් ඒ ජීවිතේ මං හිටියෙ අවුරුදු පහයි.

ඒ කියන්නෙ, ‍ඔබ ඔබේ හීනය අත්හැර දමනවා...

නැහැ. ‍මොන දේ කළත් මගේ හිතේ වැඩ කළේ තනියම යමක් කරන්න ඕනේ...! කියන සිතිවිල්ල. ඒ වෙනකොට මගේ අක්කා හිටියෙ නුවර පළාතට විවාහ වෙලා. අක්කගෙයි මස්සිනාගෙයි කීමට මං නුවර ආවා. නුවර මාකට් එකේ, ‘වීරරත්න බ්‍රදර්ස්’ කියන මස්සිනාගෙ කඩේ වැඩ කරන්න ගත්තා. නිතර ඉහළ පැළැන්තිය ආපු ගියපු එතැනදි තමයි, මං වෙළෙඳාමේ නියම ස්වරූපය දැක්කෙ.

ඒ කියන්නෙ ගමේ වෙළෙඳාමේ සහ නගර වෙළෙඳාමේ වෙනස ද...

ඔව්. ‘මහත්තයෝ, මට සීනි කාලක් දෙන්න...!’ ගමේදි මිනිස්සු, තමන්ගෙම සල්ලිවලට වුණත් බඩු ඉල්ලුවෙ එහෙමයි. බොහොම බයාදුව. නමුත් නුවර මං දැක්කෙ ඒකෙ අනික් පැත්ත. ‘සර් මොනවද ඕනේ...’ ‘එන්න මැඩම්...’ ආමන්ත්‍රණය වෙනස්. සැලකිල්ල වෙනස්. ඩිසිප්ලින්, වැඩ කරන අයටත් එකයි. මටත් එකයි. කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙන එකයි වැදගත්ම දේ. ඒ සර්විස් එක, බිල් ලියන එක, කැෂියර් වැඩේ... මං හැම දේම කළා. 1971 - 1977 දක්වා මං හිටියේ ඒ ජීවි‍තයේ.

එතකොට, තුනපහ පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති වුණේ...

ඔය කාලෙම තමයි නුවර ඉඳන් සීගිරි දඹුලු දක්වා හෝටල්වලට අපි හාල් සිල්ලර තුනපහ සැපයුවා. ඒ වුණාට එක හෝටලයක් තියෙනවා, කවදාවත් අපේ තුනපහ ගන්නෑ. ඒ පාර මං මෝල්වලට දාලා අඹරලා දෙන්න හැදුවා. මෝලට ගියාම, ‘ඕනෙ නම් තියලා යන්න, හැබැයි මෙතන බලන් ඉන්න බැහැ...’ දෙපොළකින්ම කිව්වා. මෝල් හිමියො රහස හංගනවා. ඒ වෙලාවෙ තමයි මට හිතුණෙ, මමම මිරිස් මෝලක් කරන්න ඕනෙ කියලා. ඒත් මං මිරිස් මෝල් ගැන මෙලෝ දෙයක් දන්නෑ. මැෂිමෙ ක්‍රියාකාරිත්වයවත් දන්නෑ. ඒත් වැඩේට බැස්සා.

නොදැන කර්මාන්තයකට අත ගහන්න බය හිතුණෙ නැද්ද...

නැහැ. බොහොම ටික කලකින් මං හැම දේම ඉගෙන ගත්තා. නුවර වෙම්බ්ලි හෝල් එක ඉස්සරහා පොඩි කඩ කාමරයක් කුලියට ගත්තා. මැෂිමකුත් ගත්තා. කරන්න ගත්තමයි තේරුණේ වේළලා කුඩු කරන කොට මිරිස්වලින් සියයට දහයක බර ප්‍රමාණයක් අඩු වෙනවා. ඒත් මිරිස්වල බර අඩු වුණා කියල වැඩි මිලකට දෙන්න බැහැ. මොකද අවට මිරිස් මෝල් දෙක තුනක් ම තියෙනවා. මං බඩු අරන් තියෙන්නෙත් ණයට. ලාබයක් නැති තරමට බඩු විකුණන්න වුණා. බොහොම අමාරුවෙන් ඇදගෙන ගියා. ලොකුම ප්‍රශ්නෙ තිබුණෙ සේවකයො දෙන්නකුගෙ පඩි ගෙවන එක. අවුරුද්දක් දෙකක් යන කල් ගත කළේ එහෙම දුෂ්කරම කාලයක්.

ඔබේ ජීවිතය වෙනස් කළ Turnning Point එක කුමක්ද...

මස්සිනාගෙ ‘වීරරත්න බ්‍රදර්ස්’ ලගෙන් අයින් වෙලා තනි මතයට මිරිස් කුඩු මෝලක් පටන් ගත්තු එක. හරියයි ද වරදියි ද... මං ගොඩක් දේ හිතුවෙ නැහැ. කොහොම හරි මේක කරනවාමයි කියන ඇඟේ උණ විතරයි මට තිබුණේ. එක මැෂිමකින්, ගෝලයෝ දෙන්නකුගෙන් මෙච්චර දුරක් ආවෙත් ඒ නිසා. අනෙක තමයි පල්ලෙකැලේ සුවිසල් අතිනවීන ෆැක්ටරියක් හදපු එක. ආහාර නිෂ්පාදන විවිධ අංශවලට පැතිරුණේ එතැනින්.

කවුද ඔ‍ෙබ් ජීවිතයට යමක් ගෙනා Role Model…

අම්ම තාත්තා හැරුණු කොට, වීරරත්න බ්‍රදර්ස්ලා. ගමේ තාත්තගෙ කඩෙන් වෙළෙඳාමට පදනමක් වැටුණට නියම පාරිභෝගික ගනුදෙනුව මං ඉගෙන ගත්තෙ නුවර මස්සිනාගේ මේ කඩ සාප්පුවේදි. ඇත්තටම ඒ වීරරත්න පවුලෙ අයියලා මල්ලිලා බිස්නස් කරන විදිහට මං කැමැති වුණා. පිළිවෙළ, විනය, පාරිභෝගික සැලකිල්ල, බඩු භාණ්ඩ පිළිබඳ දැනුවත් බව, ඇසුරුම් ක්‍රම, හොඳ ආකල්ප... ඔය වගේ හුඟක් දේ මං මගේ ජීවිතයට ගත්තෙ ඔවුන‍්ගෙන්.

එතකොට ප්‍රාග්ධනය හොයා ගත්තෙ...

ගමේ ඉඩම් කෑල්ලක් විකුණලා. තැන කුලියට. බඩු ණයට. මැෂිම ගන්න විතරයි රුපියල් විසි පන්දාහක් ගියේ. වැරදෙමින්, හරියමින් ආපහු වැරදෙමින්.... ආපහු හරියමින් මං මගේ ක්‍රමය හොයා ගත්තා. අද බිස්නස් තියරිවලට දුවන්නෙත් සිස්ටම්වලින් අලුත් ජවයක් ලබලා තියෙන්නෙත්, සම්මාන පිළිගැනීම් වලින් ඔපවත් වෙලා තියෙන්නෙත් මට තේරෙන ක්‍රමයට මං හදපු අරඹපු හිතුවක්කාර බිස්නස් එක නේද කියලා හිතෙන කොට හරි සතුටක් දැනෙනවා.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

ඔව්. විවාහ වුණාට, දරුවො හිටියට අපි තවම හරි සමීපයි. දූලා දෙන්නම විවාහ වුණේ ව්‍යාපාරික පවුල්වලට. ඉස්සර මං බිස්නස්වලටම කැපවෙලා හිටි කාලයේ උදෙන්ම ගෙදරින් ගියාම රෑට තමයි දරුවො දකින්නේ. ගෙදර ගියාට පස්සෙ බිස්නස්වත් ලාබ පාඩුවත් හෙට තියෙන බැංකු ප්‍රශ්නවත් කිසි දෙයක් නැහැ මගේ ඔළුවේ. මගේ ලෝකෙ තියෙන්නෙ මගේ දරු තුන්දෙනා එක්ක. බිරිය එක්ක. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි.

ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක්ද...

නිතර පන්සල් නොගියාට මං හදවතින් සහ ක්‍රියාවෙන් බෞද්ධකම රැකගන්න වෙර දරන මනුෂ්‍යයෙක්. බුදු දහමටවත් හිතටවත් විරුද්ධ නැති බිස්නස් එකක් සාධාරණව කරන එකම මට ආත්මීය සතුටක්. මිනිස්සු කන බොන දේත් එක්ක බිස්නස් කරන කවුරු වුණත් මං වගේ ම මේ හිතේ සැනසීම විඳගන්න ඕනේ. එතකොට, මිනිස්සු මිනිස්සුන්ට වස කවන පාප කර්මය නවතිනවා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර inoka.perera@lakehouse.lk

ඡායාරූප - උදේනි රාජපක්ෂ

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත 24.12.2017

Blog Category: General

Leave a Reply

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.